Saturday, October 2, 2010

ඉගෙනීම මිනිසා සම්පූර්ණ කරයි



මේ සිද්දිය වුනේ මන් A/L කරන කාලෙ. ඔය කාලෙට අමුතු අමුතු ආසාවල් එනවනේ. මේකත් වුනේ එහෙම ආව ආසාවක් නිසා. මොනවා කරන්නද වයසෙ වැ‍රැද්දනේ. මෙහෙමයි කතාව.

මං කලින් පීප්පයාගේ පරීක්සනය කතාවෙන් කීවනේ, අපේ blog එකේ set එක A/L වලට කලේ Bio Science කියලා. ඉතින් ඕකට Chemistry ඉගෙනගන්න තියෙනවනේ. ඕක කරන අය, කරපු අය එහෙම, දන්නවා ඇතිනේ, ඕකෙ අග හරියේ ඉගෙනගන්න තියෙන භාගික ආසවනය ගැන.

මේ සිද්දිය වෙන දවස් වල අපිට උගන්වමින් හිටියෙ ඕක ගැන තමා. ඕක පොතේ හැටියට කරන විදියයි, ගමේ ගොඩේ කරන විදියයි ටිකක් වෙනස්ලුනේ. ඉතින් ඉස්කෝලෙ ඕක පොතේ විදියට practicle කලාට මොකද, මට ඒ මදි. ඉතින් මට ආසාවක් ඇති වුනා ඕක ගමේ කරන විදිය බලන්න යන්න.

ඔය වැඩේ ගම්වල සාමාන්‍යයෙන් කෙරෙන්නෙ කටයුතු දෙකකට විතරයි. එකක් තමා කුරුඳු තෙල් හදන කොට, අපේ ගමේ ඒව හදන්නෙ නෑ. ඉතින් මට අනිත් කටයුත්ත සලකා බලන්න වුනා.

අනිත් කටයුත්ත තමා හොර මත්පැන් හොරෙන් සෑදීම.(මේ කියන්නෙ කසිප්පු සැදීම ගැන හොඳේ. අනිත් නම් තමා වෙල් ෆැන්ටා, මඩ ටොනික්, ගිනි වතුර වගේ ඒවා). අපේ ගමේ එක තැනක මේ වැඩේ හොඳ සරුවට කෙරෙමින් තිබුනා. මං තීරනය කලා මෙතනට යන්න වැඩේ කෙරෙන විදිය බලාගන්න.

මෙයාලා දවල් තමා ඕවා හදන්නේ. හවසට සංග්‍රහයනේ. ඉතින් දවසක මං ටිකක් දවල් වෙල ගියා මේ pot එකට. අතුරු පාරවල් වලින් ගිහින් තමා යන්න ඕනෙ. මේවා කරන්නේ හොරෙන්නෙ. දන්නවනේ ඔයාලා ඒ ගැන.

මේක කරන්නේ වෙලක් ලඟ, මහ පාරෙන් මෙතනට යන්න හැරෙන අතුරු පාර ගාව, සෑහෙන්න උස මාර ගහක් තිබුනා. ඔය ගහ උඩ හැම වෙලේම, මේ ස්වයං ‍රැකියාව කරන අයගෙන් එක්කෙනෙක් ඉන්නවා. police මාමල එනවද කියල ඔත්තු බලන්න තමා එයා ඉන්නෙ. ආහ් මේක කරන අය ගැනත් කියන්න එපායැ. මේකෙ අයිති කාරය ගුඩ්ඩා, එයාගෙ සහායකයා සිරා, ගහ උඩ ඉන්න කෙනා තමා කැඳයා.

ඉතින් මන් යන වෙලේ කවුරුත් customersලා හිටියෙ නෑ. ඒ නිසා මගෙ වැඩේ කරගන්න එක ලේසි වුනා. ගමේ හැමෝම ඔය 3 දෙනාව අඳුනනවා. මාත් ටිකක් දන්නවා. මං ගිය එකට කට්ටියට සෑහෙන්න සතු‍ටුයි. ඉතින් මාත් කට්ට්ටියගෙන් පුරස්න අහ අහා මට දැන ගන්න ඕන ඒවා ලියාගත්තා.

ඔය වෙලේ අපි කට්ටියම දන්නෙ නැතිව, අර ගහ උඩ ඔත්තු බලන්න හිටපු එකත් ඇවිල්ලා මෙතනට set වෙන්න. මිනිහත් මන් කරන වැඩ බලාගෙන ඉඳලා. දැන් police මාමල එනවද කියල බලන්න කවුරුත් නෑ.
ඕක දැන ගත්තෙ ඔතනට එයාලා කඩාපැන්න කොටයි. මගෙ දෙලොව රත් වුනා. මටත් තිබුනෙ ඔය වෙලාවට හැමෝම කරන එක කරන්න තමා. කකුල් දෙකට ජීවිතය පවරල දුවන්න තියාගත්තා. කොහොමහරි police මාමල පැන්නුවෙ අර 3දෙනාව. ඒ නිසා මන් shape වෙලා මහ පාරට ආවා. හොඳ වෙලාවට එතනින් ගියපු යාලුවෙක්ගෙ මෝටාර් එකකට(motor bike එකක්) set වෙලා යහතින් මොකුත් සරීර අබාදයක් නැතුව ගෙදරට සැපත් වුනා.

ගෙදර ආවට පස්සෙ කන පිරෙන්න දෝස් මුරේ හමබ වුනා. ඒත් මොකද මගෙ ආසාව ඉ‍ටු වුනානෙ. අනේ, පසුව ලැබුනු ආරංචි වලට අනුව අර 3 දෙනාව police මාමලා අල්ලගෙන. ඊට පස්සෙ ඉතින් වෙන දේ දන්නවනේ. එදා අපේ ගමේ තිබුන අන්තිම කසිප්පු නිස්පාදනාගාරය වැහිල ගියා.

ඕකෙන් ගොඩක් පාඩු වුනේ ඒකට ගිය customersලට. ඉතින් තාමත් මාව දැක්කම, මන් දිහා රවා බලන අයත් ඉන්නවා. මන් මොනවා කරන්නද නේද, මන් ගියෙ මගෙ ක්ෂේත්‍ර චාරිකාවනේ.

No comments:

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates